විශ්වවිද්‍යාල වලට නව නේවාසිකාගාර 60 ක්

by Surekha Samarasena posted almost 9 years ago in ஆய்வறிக்கை

 

විශ්වවිද්‍යාල වල නේවාසිකාගාර ඉදිකිරීමට රජය රුපියල් මිලියන 1052 ක ආයෝජනයක් කර ඇතැ‘ යි ද, ඒ අනුව සිසුන් 24,000 කට අලුතින් නේවාසිකාගාර පහසුකම් ලැබෙනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පවසයි. එතුමිය මෙම අදහස් පළ කළේ ඉකුත් අප්‍රේල් 10 වැනිදා පාර්ලිමේන්තුවේ දී මාතර දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මන්ත්‍රී වරයා විසින් විමසන ලද ප්‍රශ්නයට නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් දී ඇති පිළිතුරු ප්‍රකාරව 2013 සහ 2014 යන වර්ෂ වල වෙන් කළ ප්‍රතිපාදන මත, අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ටෙන්ඩර් කැදවීමෙන් පසුව පුද්ගලික ඉදිකිරීම් සමාගම් දෙකක් මගින්, ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී. එම නේවාසිකාගාර 60 ම විශ්ව විද්‍යාල මගින් වෙන් කර දෙනු ලබන ඉඩම් වල ඉදිකිරීමට යෝජනා වී ඇති අතර, විශ්ව විද්‍යාල විසින් එම ඉඩම් නිරවුල් කරදීමෙන් පසුව වසරක් ඇතුළත ඉදිකිරීම් නිම කර දීමට කොන්ත්‍රාත්කරුවන් එකගවී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළා ය. ලිඛිත ප්‍රශ්න අවස්ථාවේ දී සභා ගැබට යොමු කළ මෙම ප්‍රශ්නය අනුව, යෝජිත නව නේවාසිකාගාර වලින් එක් නේවාසිකාගාරයකින් සිසුන් 400 කට පමණ නේවාසික පහසුකම් සැලසෙන බවත්, එමගින් සිසුන්ගේ මූලික අවශ්‍යතාවක් සපුරනු ඇති බවත්, අවධාරණය කෙරිණ. (මූලාශ්‍රය - 2015 අප්‍රේල් 10 හැන්සාඩ් වාර්තාව, 14 වැනි පිටුව)

 

 


comments powered by Disqus