නිසි හා අනිසි භාවිතය තුළ දෝලනය වන රීති ප්‍රශ්න ක්‍රමවේදය

by manthri.lk - Research Team posted over 9 years ago in විශ්ලේෂණ

 

රීති ප්‍රශ්න යනු පාර්ලිමේන්තු විවාද තුළ ඉතා වැදගත් අංගයකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට රීති ප්‍රශ්න ඉදිරිපත් කිරිමට හැකිය. රීති ප්‍රශ්න වල වැදගත්කම වනුයේ, පාර්ලිමේන්තුව තුළ ක්‍රියාපටිපාටිමය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට යම් කිසි මන්ත්‍රීවරයෙකුට/වරියකට හැගෙන්නේ නම් එම කාරණා පිළිබදව එම අවස්ථාවේදීම කරුණු විමසීමට රීති ප්‍රශ්න මගින් අවකාශය ලබා දීමයි. සාමාන්‍යයෙන් රීති ප්‍රශ්නයක් මතුකිරීමේදී එම අවස්ථාවේ කතා කරමින් සිටින මන්ත්‍රීවරයාට/වරියට බාධා කරමින් එය ඉදිරිපත් කෙරේ.කථානායකවරයා හෝ පාර්ලිමේන්තුවේ මුලසුන හොබවන මන්ත්‍රීවරයා/වරිය විසින් ඒ සදහා සිය තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රීවරයා/වරියට සිය කතාව නැවත ආරම්භ කොට සිදුකරගෙන යා හැකිය. මේ අනුව රීති ප්‍රශ්න භාවිතය තුළ එය අනිසි ලෙස භාවිතා කිරීමට ද ප්‍රබල අවකාශයක් තිබේ.

රීති ප්‍රශ්න නිසි ආකාරයෙන් ඉදිරිපත් කිරීම සදහා පාර්ලිමේන්තු විවාද වලට සාවධානව සවන්දීමත් පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය පිළිබදව ඉහළ දැනුවත්භාවයකින් පසුවීමත් වැදගත් වේ. මන්ත්‍රීවරුන් රීති ප්‍රශ්න නිසි භාවිතය හා අනිසි භාවිතය සිදු කරන ආකාරය පිළිබදව අවධානයෙන් සිටීම තුළින් ඔවුන් පාර්ලිමේන්තු විවාද වලට කෙතරම් සාවධානව සවන්දෙන්නේ ද යන්න සහ පාර්ලිමේන්තු සහභාගීත්වය තුළ දක්වන අවංකභාවය පිළිබදව අවබෝධයක් ද ලබා ගත හැකිය.

                                                
                                               


මන්ත්‍රීවරුන්ගෙන් අඩක් රීති ප්‍රශ්න නැගීමට තරම් අවදියෙන් සිට නැත.

Manthri.lk යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දක්වන ක්‍රියාශීලී දායකත්වය පිළිබදව විශ්ලේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කරන වෙබ් අඩවියකි. මෙම විශ්ලේෂණය සදහා 2012 මැයි සිට 2014 අගෝස්තු දක්වා මාස 28 ක කාල පරාසය තුළ ආවරණය වූ පාර්ලිමේන්තු වාර 154ක දී අසන ලද සමස්ත රීති ප්‍රශ්න ප්‍රමාණය යොදාගන්නා ලදී (මෙම කාල සීමාවේදී රීති ප්‍රශ්න 1222 ක් ඉදිරිපත් විය). ඒ අනුව එක් පාර්ලිමේන්තු වාරයක් තුළ සාමාන්‍යයෙන් රීති ප්‍රශ්න 6 ක් පමණ ඉදිරිපත් වී ඇත. එමෙන්ම එම පාර්ලිමේන්තු වාර 206 ක් තුළ සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (49%)  එකම රීති ප්‍රශ්නයක් හෝ ඉදිරිපත් කිරීමට සමත්වී නැත.

වඩා ඵලදායී වන්නේ උදාසීනත්වයද? ක්‍රියාශීලී බාධාකිරීම් ද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් උදාසීන ලෙස රීති ප්‍රශ්න ඉදිරිපත් නොකිරීම තුලින් සැබෑ ලෙසම රීති ප්‍රශ්න ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ප්‍රශංසනීය කාර්යභාරයක නියැලුණු බවට නිගමනයකට එළඹීමට නොහැක. දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ රීති ප්‍රශ්න ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගෙන් අඩක් පමණ රීති ප්‍රශ්න ඇසීමට ඇති අවකාශය අනිසි ආකාරයෙන් භාවිතා කර ඇති බවයි. (එනම් පාර්ලිමේන්තු විවාද තුළ කඩාකප්පල්කාරී ලෙස බාධාකිරීම් සිදු කිරීම)

රූප සටහන 01 මගින් දක්වා ඇති ආකාරයට මෙම විශ්ලේෂණය සදහා යොදාගත් කාල පරාසය තුළ ඉදිරිපත් කළ සම්පූර්ණ රීති ප්‍රශ්න වලින් 47% ක් නිසි භාවිතය සදහා ද, 53% ක ඉහළ ප්‍රතිශතයක් අනිසි භාවිතය සදහා ද යොදාගෙන ඇත. රීති ප්‍රශ්න ඇසීමට සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උදාසීනත්වය එක් අතකින් පාර්ලිමේන්තු සදාචාරයට යම්කිසි ගරුකිරීමක් ලෙස සැලකිය හැක්කේ රීති ප්‍රශ්න අනිසි භාවිතයේ යෙදවීම මගින් පාර්ලිමේන්තුවේ ඵලදායී කාලයට නිගරු කිරීමක් ඔවුන්ගෙන් සිදුනොවන නිසාය.

නිසි භාවිතය හා අනිසි භාවිතය තුල කැපී පෙනෙන මන්ත්‍රීවරුන්

Manthri.lk විසින් සිදු කළ විශ්ලේශනයට අනුව අදාල පරාසය තුළ මන්ත්‍රීවරුන් 20  දෙනෙකු රීති ප්‍රශ්න 15  කට වඩා ඉදිරිපත් කරන ලදී.

නිසි භාවිතය:

නිසි භාවිතයේ යොදවන ලද රීති ප්‍රශ්න එම මන්ත්‍රීවරයා විසින් නගන ලද සියලුම රීති ප්‍රශ්න වල ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට, දිනේෂ් ගුණවර්ධන-86%, එම්.ඒ.සුමන්දිරන් - 86% හා ජෝන් අමරතුංග - 79% ක් වැනි ඉහළ ප්‍රතිශයක් ලබාගනිමින් රීති ප්‍රශ්න නිසි භාවිතය තුළ පෙරමුණ ගැනීමට සමත් වී ඇත.

අනිසි භාවිතය:

රීති ප්‍රශ්න 15 කට වඩා ඉදිරිපත් කරන ලද මන්ත්‍රීවරුන් 20 දෙනා අතරින් ඉහළම රීති ප්‍රශ්න අනිසි භාවිතය වාර්තා කරනු ලැබුවේ මර්වින් සිල්වා මන්ත්‍රීවරයා විසිනි. ඔහු විසින් අසන ලද සියලුම රීති ප්‍රශ්න වල ප්‍රතිශතයක් ලෙස අනිසි භාවිතයේ යොදන ලද රීති ප්‍රශ්න ප්‍රමාණය 78% ක් වැනි ඉහළ ප්‍රතිශතයක් ගන්නා ලදී. එමෙන්ම සුජීව සේනසිංහ හා ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත්‍රීවරුන් පිළිවෙලින් 77%ක් සහ 67% ප්‍රතිශතයක් රදවාගනිමින් රීති ප්‍රශ්න අනිසි භාවිතය තුළ කැපීපෙනුනි.



                                                       

  රීති ප්‍රශ්න නිසි හා අනිසි භාවිතය පිළිබද ගිනස් වාර්තාවට සුදුසු මන්ත්‍රීවරයෙක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් රීති ප්‍රශ්න ඇසීමේදී පෙරමුණේ රාළ ලෙස කටයුතු කරන්නේ ඒ.එච්.එම්.අස්වර් මන්ත්‍රීතුමාය. මෙම විශ්ලේෂණය සදහා යොදාගත් කාලපරාසය තුළ අසන ලද සියලුම රීති ප්‍රශ්න වලින් 27% ක් පමණ නගන ලද්දේ අස්වර් මන්ත්‍රීතුමා විසිනි.(එනම් රීති ප්‍රශ්න 326 න් 1222 ක් පමණ) රීති ප්‍රශ්න ඇසීමේ දෙවැනි ස්ථානය ගත් රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් (රීති ප්‍රශ්න 53 ක් පමණ) ඉදිරිපත් කළ රීති ප්‍රශ්න මෙන් පස්ගුණයක් රීති ප්‍රශ්න අස්වර් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම අසන ලද සියලුම රීති ප්‍රශ්න ප්‍රමාණය දෙස බැලීමේදී නිසි භාවිතය හා අනිසි භාවිතය යන අංශ දෙක තුළ ප්‍රමුඛස්ථානයට පත්වූයේ ද අස්වර් මන්ත්‍රීතුමා ය. එනම් අනිසි භාවිත අවස්ථාවන් 188 ක් (58%) හා නිසි භාවිත අවස්ථාවන් 138 ක් (42%) වශයෙනි.

එමෙන්ම සමස්ත රීති ප්‍රශ්න අනිසි භාවිතය තුළ 29% ක ප්‍රතිශතයකට හා නිසි භාවිතය තුළ 24% ප්‍රතිශතයක් රදවාගැනීමට ඔහු සමත් විය.

Manthri.lk විසින් ඉදිරිපත් කළ දත්ත අනුව සිදු කළ මෙම විශ්ලේෂණයේදී පෙනී යන්නේ රීති ප්‍රශ්න ඇසීමට ඇති ක්‍රමවේදය තුළ එය අනිසි භාවිතය සදහා ඉඩ ප්‍රස්තාවන් ඇති බවයි. මෙලෙස බාධාකාරී රීති ප්‍රශ්න නැගීම වළක්වාගත හැක්කේ කෙසේද? ඒ සදහා වගකිව යුතතේ කවර පාර්ශවයක් විසින් ද?

මේ පිළිබදව ඔබගේ අදහස් [email protected] වෙබ් අඩවියෙහි බ්ලොග් සටහන (blog space) වෙත හෝ කෙටි පණිවිඩ(sms) මාර්ගයෙන් 071-4639882 වෙත යොමු කරන්න.









 


comments powered by Disqus