විපක්ෂයේ නවකයින් : සාධනීය මෙහෙවරක

by manthri.lk - Research Team posted over 9 years ago in විශ්ලේෂණ

 

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් 87 ක් ම (39% ක්) නවක මන්ත්‍රීවරුන් වේ . එනම් ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්ව ඇත්තේ ප්‍රථම වතාවටයි.

මෙම ලිපිය, මොවුන් කුමන පාර්ලිමේන්තු පාර්ශවයක් නියෝජනය කරන්නේ ද? යන්නත්, එහිදී පාර්ලිමේන්තු කටයුතු වලට දක්වන දායකත්වය කෙසේ ද? යන්නත් පිළිබද කරන ලද කෙටි විමසුමක ප්‍රතිඵලයකි.


නවක මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් එ.ජ.නි.ස.යෙන්

නවක මන්ත්‍රීවරුන් අතරින් ¾ ක්ම එනම් 62 දෙනෙක් එ.ජ.නි.ස. නියෝජනය කරති. එ.ජා.පෙ. නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් ගණන 20 ක් ද, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් ගණන 4 ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් ගණන 1 ක් ද වේ.


එ.ජා.පෙ. නවක මන්ත්‍රීවරුන් ඉදිරියෙන්

සාමාන්‍යයෙන් වැඩි නියෝජනයක් සහිත කණ්ඩායමකට ප්‍රතිඵල තම වාසියට හරවාගැනීමට හැකියාවක් තිබේ. නමුත් Manthri.lk නිරීක්ෂණ හා ශ්‍රේණිගතකිරීම් දක්වන ආකාරයට නවක මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව බහුල වුවද එ.ජ.නි.ස. කණ්ඩායමේ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී වීමට අවස්ථා ලැබී නොමැති බව පෙනේ.

Manthri.lk  හි මාස 28 ක් සදහා වන දත්ත අනුව (2012 මැයි සිට 2014 අගෝස්තු දක්වා) එ.ජා.පෙ. නවක මන්ත්‍රීවරුන් එ.ජ.නි.ස. නවක මන්ත්‍රීවරුන්ට වඩා සිව්ගුණයක් කාර්යක්ෂම බව පෙනේ. (වගු අංක 1)

එමෙන්ම දෙමළ ජාතික සන්ධාන නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය පවා එ.ජ.නි.ස. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය මෙන් දෙගුණයක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ තනි - නවක මන්ත්‍රීවරයා ද සැලකිය යුතු මට්ටමක පාර්ලිමේන්තු දායකත්වයක් ලබාදේ.

                   


එ.ජා.පෙ. නවක මන්ත්‍රීවරුන්ගේ කාර්යක්ෂමතා ඇගයීම

වඩා සක්‍රියම නවක මන්ත්‍රීවරුන් 5 දෙනා එ.ජා.පෙ. නියෝජනය කරන අතර, පාර්ලිමේන්තු කටයුතු වලදී ඵලදායී මිනිත්තු 12000 කට ආසන්න ප්‍රමාණයක් මිඩංගු කර තිබෙන අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ඒ අතරිනුත් ඉදිරියෙන්ම සිටින නවක මන්ත්‍රීවරයා බවට පත්වේ. බුද්ධික පතිරණ, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සක්‍රීය නවක මන්ත්‍රීවරුන් අතර පෙරමුණේ සිටින සෙසු මන්ත්‍රීවරුන් සිව් දෙනා වේ. (වගු අංක 2)


                         

මෙහි ප්‍රතිවිරුද්ධ අර්ථයෙන් දුර්වලම සහභාගිත්වයක් සහිත නවක මන්ත්‍රීවරුන් දස දෙනා අතරින් 9 දෙනෙකුම එ.ජ.නි.ස. නවක මන්ත්‍රීවරුන් වේ.

නවක මන්ත්‍රීවරුන් සදහා අවස්ථාව :

නවක මන්ත්‍රීවරුන් 88 දෙනා අතරින් 14 දෙනෙක්ම නවක නොවන මන්ත්‍රීවරුන්ගේ ‘සහභාගිත්ව සාමාන්‍ය අගය‘ ඉක්මවා තිබේ. එමනිසා නවක මන්ත්‍රීවරුන්ට  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව අඩු සහභාගිත්ව ප්‍රස්ථාවක් ලැබියහැකි තත්වයක් පවතිද්දී වුවත් ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ නිසැකවම සාර්ථකත්වයක් අත් කර ගත හැක.

සක්‍රීය නවක මන්ත්‍රීවරුන් දායකත්වය සපයා ඇත්තේ කෙසේද?

සාර්ථක සහභාගීත්වයක් දක්වන නවක මන්ත්‍රීවරුන් සාමාන්‍යෙයන් පක්ෂ සංවිධායකයින්ගේ බාධා කිරීම් සිදු නොවන ක්ෂේත්‍රයක් වන කල්තැබීමේ විවාද වලට සහභාගි වීම, ලිඛිත ප්‍රශ්න ඇසීම, රීති ප්‍රශ්න ඇසීම යනාදියෙන් සිය සහභාගිත්වයට තමන් විසින්ම අවස්ථාව සලසාගෙන සාපේක්ෂව ඉහළ අගයක සහභාගිත්වයක් දක්වා ඇත. නමුත් පක්ෂ සංවිධායක අවසර ලබාගත යුතු පනත් විවාද වැනි අවස්ථාවන්හිදී ද මෙම නවක මන්ත්‍රීවරුන්ට සහභාගීත්ව අවස්ථාව ලැබී ඇත.






 


comments powered by Disqus