පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්: විපක්ෂයේ අගනා මෙහෙවරක

by Manthri.lk - Research Team posted almost 10 years ago in විශ්ලේෂණ

 

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් 88 ක් ම (38% ක්) නවක මන්ත්‍රීවරුන් වේ. එනම් ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්ව ඇත්තේ ප්‍රථම වතාවටයි.

මොවුන් කුමන පාර්ලිමේන්තු පාර්ශවයක් සදහා කෙසේ කටයුතු කරනවාද යන්න ගැටලුවකි.

නවක මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් එ.ජ.නි.ස.ට අයත් වේ


නවක මන්ත්‍රීවරුන් අතරින් ¾ ක්ම එනම් 63 දෙනෙක් එ.ජ.නි.ස. නියෝජනය කරති. එ.ජා.පෙ. නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් ගණන 20 ක් ද, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් ගණන 5 ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් ගණන 1 ක් ද වේ.


නමුත් වැඩි ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන්නේ එ.ජා.පෙ. නවක මන්ත්‍රීවරුන්


සාමාන්‍යයෙන් වැඩි නියෝජනයක් සහිත කණ්ඩායමකට ප්‍රතිඵල තම වාසිට හරවාගැනීමට හැකියාවක් තිබේ. නමුත් Manthri.lk නිරීක්ෂණ හා ශ්‍රේණිගතකිරීම් දක්වන ආකාරයට නවක මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව බහුල වුවද ඔවුන්ට පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී වීමට අවස්ථා ලැබී නොමැති බව පෙනේ. Manthri.lk  හි මාස 22 ක් සදහා වන දත්ත අනුව (2012 මැයි සිට 2014 පෙබරවාරි දක්වා) එ.ජා.පෙ. නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාත්මකව ගත් කල එ.ජ.නි.ස. නවක මන්ත්‍රීවරුන්ගෙන් 1/3 ක් වන අතර එ.ජා.පෙ. නවක මන්ත්‍රීවරුන්ගේ දායකත්වය එ.ජ.නි.ස. නවක මන්ත්‍රීවරුන්ගේ දායකත්වයට වඩා 20% කින් වැඩි වේ.

මෙය තවත් ආකාරයකින් දක්වන්නේ නම් එ.ජා.පෙ. නවක මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු සදහා සාමාන්‍යයෙන් දක්වන සහභාගිත්වය එ.ජ.නි.ස. නවක මන්ත්‍රීවරුන්ගේ දායකත්වය මෙන් හතරගුණයක් වේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධාන නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය පවා එ.ජ.නි.ස. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය මෙන් දෙගුණයක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නවක මන්ත්‍රීවරයා සහභාගිත්වය දක්වා ඇත්තේ අවම වශයෙනි.




සක්‍රිය විපක්ෂය:
පෙරමුණෙහි සිටින නවක මන්ත්‍රීවරුන් 10 දෙනාගෙන් පස් දෙනෙක්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරයි. පාර්ලිමේන්තුවේ ඵලදායී මිනිත්තු 9000 කට වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඉදිරියෙන්ම සිටින අතර අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න ඊට ආසන්නව සිටී.



මෙහි ප්‍රතිවිරුද්ධ අර්ථයෙන් දුර්වලම සහභාගිත්වයක් සහිත නවක මන්ත්‍රීවරුන් දස දෙනා අතරින් 9 දෙනෙකුම එ.ජ.නි.ස. නවක මන්ත්‍රීවරුන් වේ.  

නවක මන්ත්‍රීවරුන් සදහා අවස්ථාව:

නවක මන්ත්‍රීවරුන් 88 දෙනා අතරින් 13 දෙනෙක්ම නවක නොවන මන්ත්‍රීවරුන්ගේ ‘සහභාගිත්ව සාමාන්‍ය අගය‘ ඉක්මවා තිබේ. එමනිසා නවක මන්ත්‍රීවරුන්ට  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව අඩු සහභාගිත්ව ප්‍රස්ථාවක් ලැබියහැකි තත්වයක් පවතිද්දී වුවත් ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ නිසැකවම සාර්ථකත්වයක් අත් කර ගත හැක.

නවක මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත්තේ කෙසේද?

සාර්ථක සහභාගීත්වයක් දක්වන නවක මන්ත්‍රීවරුන් සාමාන්‍යෙයන් පක්ෂ සංවිධායකයින්ගේ බාධා කිරීම් සිදු නොවන ක්ෂේත්‍රයක් වන කල්තැබීමේ විවාද වලට සහභාගි වීම, ලිඛිත ප්‍රශ්න ඇසීම, රීති ප්‍රශ්න ඇසීම යනාදියෙන් සිය සහභාගිත්වයට තමන් විසින්ම අවස්ථාව සලසාගෙන සාපේක්ෂව ඉහළ අගයක සහභාගිත්වයක් දක්වා ඇත. නමුත් පක්ෂ සංවිධායක අවසර ලබාගත යුතු පනත් විවාද වැනි අවස්ථාවන්හිදී ද මෙම නවක මන්ත්‍රීවරුන්ට සහභාගීත්ව අවස්ථාව ලැබී ඇත.                  
 
එ.ජා.පෙ. නවක මන්ත්‍රීවරුන්ගේ ඉහළ සහභාගීත්වය පැහැදිලි කළ හැක්කේ කෙසේ ද? අනෙක් මන්ත්‍රීවරුන්ට වඩා එ.ජා.පෙ. නවක මන්ත්‍රීවරුන් කාර්යශූර බවද? නැත්නම් එ.ජා.පෙ. සිය නවක මන්ත්‍රීවරුන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන බවද? ඔබ සිතන පරිදි ආණ්ඩු පක්ෂ නවක මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාශීලිත්වය මෙතරම් අඩු මට්ටමක තිබෙන්නේ කුමක් නිසාද? කරුණාකර ඔබේ අදහස් Manthri.lk සමග හුවමාරු කරගන්න.

(වෙබ් අඩවිය සහ බ්ලොග් අඩවිය සදහා පිවිසෙන්න - www.manthri.lk ,
අමතන්න - 071-4639882)    

 
 
   
 
                                   

 


comments powered by Disqus