ආණ්ඩුවට ඉදිරිපත් වන ප්‍රශ්න වල බර අදින දිනේෂ් ගුණවර්ධන

by manthri.lk - Research Team posted over 9 years ago in විශ්ලේෂණ

 

පාර්ලිමේන්තු ලිඛිත ප්‍රශ්න යනු, මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ කටයුතු පිළිබද තොරතුරු විමසා බැලීමට ලැබෙන ඉඩ ප්‍රස්ථාවකි. එමෙන්ම එය ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ආණ්ඩුවේ වැඩ කටයුතු පිළිබද වගවීමට බැදී සිටින කටයුත්තකි. එමෙන් ම එය අදාළ විෂය භාර අමාත්‍යවරුන්ගේ කැපවීම සහ වගවීම මැනෙන අවස්ථාවක් ද වේ.

Manthri.lk සතු පාර්ලිමේන්තු දත්ත අනුව පෙනී යන්නේ පාර්ලිමේන්තුවේදී අසන ලිඛිත ප්‍රශ්න වලින් පහෙන් එකක් (1/5) සදහා ම පිළිතුරු සපයන්නේ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වන බවයි.

වැඩි බරක් උසුලාගෙන යාම :

 
2013 සැප්තැම්බර් සිට 2014 අගෝස්තු දක්වා වසරක කාලයක් තුල දී තම විෂයට අදාල වූ ප්‍රශ්න වලින් අවම වශයෙන් එක් ප්‍රශ්නයකටවත් පිළිතුරු ලබා දී ඇත්තේ, අමාත්‍යවරු 66කගෙන් 47 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 39කගෙන් 24 ක් පමණි. කෙසේ වෙතත් සියලු ලිඛිත ප්‍රශ්න වලින් 19% කට පිළිතුරු ලබා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ය. (වගුව 1)

                                

ලිඛිත ප්‍රශ්න වලට පිළිතුරුදීමේ වගකීමෙන් නිදහස් වීම:

පාර්ලිමේන්තු දත්ත අනුව පෙනෙන ආකාරයට ඇතැම් අමාත්‍යවරුන් ලිඛිත ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වගකීම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකට පවරා නිදහස් වන බවක් පෙනෙන්නට ඇත. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් පිළිතුරු සපයා ඇති ලිඛිත ප්‍රශ්න 141 ක් අතුරින් සිය අමාත්‍ය විෂය වන ජල සම්පාදන හා ජලාපවහන විෂයට අදාළ වී ඇත්තේ ප්‍රශ්න 14 ක්(10%) පමණි.  එහි අදහස වන්නේ ඉතිරි ප්‍රශ්න (එනම් ඉතිරි ප්‍රශ්න 90%) සියල්ලම ආණ්ඩු පක්ෂ සංවිධායකගේ අමාත්‍ය විෂයට අදාළ නොවන ඒවා වන බව ය.


කෙසේ වෙතත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් පිළිතුරු සපයන ලද අමාත්‍යංශ විෂයන් පිළිබද සන්සන්දනාත්මක සටහන මෙසේය. (වගුව 2)

                            

ක්‍රමවේදයේ ගැටලුව :

ලිඛිත ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම විශේෂී එමෙන් ම වැදගත් වගකීමක් වන අතර එය තොරතුරු අයිතිය වැනි ප්‍රතිපාදනයක් නොමැති තත්වයක් යටතේ පාර්ලිමේන්තු ලිඛිත ප්‍රශ්න විකල්පයක්, නැත්නම් ව්‍යතිරේකයක් වශයෙන් ද භාවිතා වේ. කෙසේ වෙතත්, ලිඛිත ප්‍රශ්න වලට ආණ්ඩු පක්ෂ සංවිධායක මගින් පිළිතුරු ලබා දීමේ දී තිබෙන ගැටලුව වන්නේ, ඔහුට අදාළ අමාත්‍ය විෂය පිළිබද තිබෙන දැනුම ප්‍රමාණවත් නොවීම ය. විශේෂයෙන් ම ප්‍රශ්නය ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා විසින් අසනු ලබන අතුරු ප්‍රශ්න වලට පිළිතුරු දීමට නම් අදාළ කාරණා පිළිබද ගැඹුරු දැනුමක් තිබීම වැදගත් වේ.

ආරක්ෂක අමාත්‍යංශයට අදාල ප්‍රශ්න වලදී ආණ්ඩු පක්ෂයේ සංවිධායක මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම අවශ්‍ය වන අතර, ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නොසිටින නිසාත්, අදාළ විෂයට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද නොමැති නිසාත් අදාළ ප්‍රශ්න වලට පිළිතුරු දිමට ඔහුට සිදුවේ. නමුත් අනෙකුත් විෂයන් වලදී අදාළ විෂය සම්බන්ධයෙන් වගකීම් පවරා ඇති අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය වගකීම වෙන අයෙකුට පවරා නිදහස් වීම යෝග්‍ය නොවේ.

අමාත්‍ය විෂය පිළිබද වගවීම සම්බන්ධයෙන් ඇගයිය යුතු නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුලෙස ලලිත් දිසානායක මන්ත්‍රීවරයා හදුන්වා දිය හැකි අතර, ඔහු සිය විෂය වන ‘සෞඛ්‍ය‘ විෂයට අදාළව වසරක කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන ප්‍රශ්න 37 න් 28 කට ම (76%) පිළිතුරු සපයා ඇත. 

Manthri.lk පසුගිය විශ්ලේෂණයකින්, විරුද්ධ පක්ෂයෙන් වැඩිපුරම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුන් 5 ක් පමණක් බව හෙළි කරන ලදී. එමෙන්ම අසන ලද ලිඛිත ප්‍රශ්න වලට පිළිතුරු දිම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාගේ කර මත පැටවුණු බරක් වීම සහ ආණ්ඩුවේ වගවීම හරියාකාරව ඉටු නොවන බව මින් පැහැදිළි ‍වන අතර එය කලින් විශ්ලේෂණය ද සමග ගෙන බැලූ කළ පාර්ලිමේන්තු ලිඛිත ප්‍රශ්න ක්‍රමවේදයේ පවත්නා අඩුපාඩු වඩාත් හොදින් පැහැදිලි කරයි.










 


comments powered by Disqus