නිශ්ශබ්ද - සුදු අලි ඇමතිවරු

by manthri.lk - Research Team posted over 9 years ago in විශ්ලේෂණ

 

වත්මන් ආණ්ඩුවෙන් තුනෙන් දෙකක් (2/3) ම අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරන අතර, ඇමතිවරු සංඛ්‍යාව 68 ක් ද නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 ක් ද වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාර්ලිමේන්තු නිරීක්ෂණ අඩවිය වන Manthri.lk හි නවතම විශ්ලේෂණය ඇමතිවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ පාර්ලිමේන්තු සභාවේ ඵලදායී සහභාගීත්වයන් විග්‍රහ කරන අතර, ඒ සදහා පාදක කර ගෙන ඇත්තේ, 2013 - සැප්තැම්බර් සිට 2014 - අගෝස්තු අතර වසරක කාල පරාසයක පාර්ලිමේන්තු දත්ත ය.

පාර්ලිමේන්තුවේ නිශ්ශබ්ද අමාත්‍යවරුන්:
 Manthri.lk ශ්‍රේණිගතකිරීමේ ක්‍රමවේදය අනුව එක් මන්ත්‍රීවරයෙකුගේ සාමාන්‍ය ‘ඵලදායී මිනිත්තු‘ ගණන 1,047 ක් වන අතර පසුගිය වසර තුළ අමාත්‍යවරුන්ගේ සාමාන්‍ය-ඵලදායී කාලය ගැනෙන්නේ ඵලදායි මිනිත්තු 756 ක් ලෙසටයි. කෙසේ වෙතත් අමාත්‍යවරුන් පාර්ලිමේන්තු කාලය ඵලදායීව භාවිතා කිරීමේ පරාසයන් පුළුල් ලෙස පැතිර ඇති අතර, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඉකුත් වසරේ ඵලදායී මිනිත්තු 5,851 ක පාර්ලිමේන්තු-සභා දායකත්වයක් දක්වා ඇති විට, ඩුලිප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු සභාව තුළ එකදු ඵලදායී මිනිත්තුවක් වත් භාවිතයට ගෙන නැත. එසේම සමහර අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු සභාවේ කටයුතු වලට සහභාගී වීම අතිශය දුර්වල වන අතර බොහෝවිට ඔවුන් පාර්ලිමේන්තු සභාවේ විවාද වලට සහභාගි වී ඇත්තේ අය-වැය විවාද වලට පමණක් වන අතර නැත්නම් ඉතා කලාතුරකිනි.

                            

නොපෙනෙන ඇමතිවරු:
දුර්වල පාර්ලිමේන්තු සභා සහභාගීත්වයක් දක්වන මන්ත්‍රීවරු 10 අතර (වගුව 1) සිටින දුර්වලම නි.අමාත්‍යවරයා වන ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර එකදු ඵලදායී මිනිත්තුවක්වත් භාවිතා කර නොමැතිවීමෙහි අදහස ඔහු ආපදා කළමනාකරණ විෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගවී නැති බවය. ඉන් අමාත්‍යවරුන් 5 ක් අවම පාර්ලිමේන්තු සහභාගීත්වයන් දක්වා ඇත්තේ, යටත් පිරිසෙයින් නියෝජ්‍ය අමාත්‍යවරුන් වත් පත් කර නොමැති අමාත්‍ය විෂයන් සම්බන්ධයෙන් වගවිය යුතු අමාත්‍යවරුන් වශයෙනි. අනෙක් නියෝජ්‍ය ඇමතිවරු 4 දෙනා ද නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව තුළ අඩුවෙන් කතාබහට ලක්වන අමාත්‍යංශ විෂයන් ය. (සියල්ලම ඵලදායි මිනිත්තු 1000ට අඩුය)

අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තුව කෙරෙහි පවත්නා වගවීමේ ස්වභාවය දෙයාකාරය. එනම් ආණ්ඩුවේ නියෝජිතයන් වශයෙන් ඇමතිවරුන් ලෙසත්, මහජන නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙසත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ දෙයාකාරයකට වගවීමකට යටත්ය.

වගුවේ තොරතුරු අනුව පෙනී යන්නේ එහි දැක්වෙන අමාත්‍යවරුන්ගේ සහ නි.අමාත්‍යවරුන්ගේ ව්‍යවස්ථාදායක කාර්යයන් ඉතා අවම මට්ටමක ඇති බවයි. එමෙන්ම ඉන් ප්‍රකාශිත අනෙක් තත්වය වන්නේ, වගකිවයුතු අමාත්‍යවරුන් ලෙස ඔවුන් පාර්ලිමේන්තු සභාගැබේ සිට තම විෂයන්ට අදාලව පැන නගින විවාද ප්‍රශ්න වලට ඵලදායී ලෙස මැදිහත් වී නැති බවය.

සුදු අලි:
එ.ජ.නි.ස. පසුපෙළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ වසන්ත සේනානායක යන දෙදෙනාම පසුගියදා ඉදිරිපත් කළ ‘ප්‍රතිසංස්කරණ යෝජනා‘ දෙකෙන්ම පෙන්වා දී තිබුණේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩිවීම නාස්තිකාරී දෙයක් බවය. ඉහත විශ්ලේෂණයෙන් ද එ.ජ.නි.ස.ට ඉදිරිපත් වී ඇති එකී ‘ප්‍රතිසංස්කරණ යෝජනා‘ වල කරුණු වල සත්‍යතාව දත්ත සහිතව පෙනෙන්නට ඇත.

පාර්ලිමේන්තු සභා-කටයුතු වලට අඩුවෙන් දායක මන ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරී නොවෙතත්, ව්‍යවස්ථාදායක අරමුණු වෙනුවෙන් පෙනී සිටිනවාද? නැත්නම් ඔවුන් ව්‍යවස්ථාදායක කටයුතු පිළිබද අඩු තක්සේරුවකින් හිතනවාද? ඔබේ අදහස් සහ ප්‍රශ්න  www.manthri.lk/en/blog වෙත හෝ Twitter @manthrilk වෙත යොමු කරන්න. නැත්නම් or manthri.lk ක්ෂනික ඇමතුම් අංකය 071-4639882 ට කෙටිපණිවිඩ මගින් දැනුම් දෙන්න.








 


comments powered by Disqus