ගැබිණි මව්වරුන්ට දෙන දීමනාව ඉදිරියටත් ලැබෙයි ද...?

by Manthri team posted almost 9 years ago in Analysis

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, 2015 අතුරු අයවැය ප්‍රතිපාදන යටතේ, සෑම ගැබිනි මවකට ම රු.20 000 ක ප්‍රතිලාභයක් ලබා දීමට නව රජය ගත් තීන්දුව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක පැවසුවාය. ඇය මෙම අදහස් ඵල කළේ, මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවේ දී එ.ජ.නි.ස. පා.ම. රංජිත් ද සොයිසා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක පැවසුවේ, දිනකට ශ්‍රී ලංකාව තුළ 1050 ක් පමණ සිදු වන බවත්, ඒ අනුව වාර්ෂිකව එම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් මිලියන 8000 ක් වැය කළ යුතු බවත් ය. රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ, මෙම ව්‍යාපෘතියේ මුල් කොටස වෙනුවෙන්, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ රුපියල් මිලියන 500 ක් වැය කර ඇති අතර, තවත් මිලියන 250 ක් භාණ්ඩාගාර වැය ශීර්ෂ යටතේ ලබාගෙන ඇති බවත් ය.

කෙසේ වෙතත් මෙහිදී පා.ම. රංජිත් ද සොයිසා මහතා අතුරු ප්‍රශ්නයක් යොමු කරමින්, අදාළ ව්‍යාපෘතියට මුදල් වෙන් කිරීම අවුරුද්ද සඳහා ම සිදු කර ඇත් ද යන වග විමසන ලදී. එහිදී රාජ්‍ය අමාත්‍යවරිය පිළිතුරු ලබා දී ඇත්තේ, දැනට මුල් මාස 3 ක් දක්වා ප්‍රතිපාදන ලැබී ඇති බවත්, ඉදිරි දීමනා සදහා මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එකඟ වී ඇති බවත් ය.

ඇතැම් ප්‍රදේශ වල මෙම වැඩසටහන යටතේ, පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ලබා දී ඇති අතර ඉදිරියේ දී එවැන්නක් සිදු නොවන්නට වග බලාගන්නේ ද යන්න අතුරු ප්‍රශ්න අවස්ථාවේ දී, පා. ම. රංජිත් ද සොයිසා විසින් විමසනු ලදුව, රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක පැවසුවේ වාර්තා වූ හුදෙකලා සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා දඩුවම් දී ඇති බවත්, ඉදිරියේදී එවැනි දේ සිදු නොවනු ඇති බවත් ය.

(මූලාශ්‍රය - 2015 මැයි 22 හැන්සාඩ් වාර්තාව , 6 වැනි පිටුව)

 


comments powered by Disqus